News

නව ව්‍යවස්ථාවට අදහස් දෙන්න ප්‍රමාණවත් කාලයක් ලබාදෙන්න

ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය වන දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි සිය විශ්වාසය බව පැෆ්රල් සංවිධානය පවසයි.

ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන්  නියෝජනය වන  දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි  සිය විශ්වාසය බව පැෆ්රල් සංවිධානය පවසයි.


නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීම වෙනුවෙන් පත්කොට ඇති විශේෂඥ කමිටුව වෙත විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යොමුකරමින් මේ බව පවසා ඇත.

එම ලිපිය මගින් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මහජන අදහස් ලබාදීම සඳහා ප්‍රමාණවත් කාලසීමාවක් ලබාදිය යුතු බවයි.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.



ලේකම්,
නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව,
කාමර අංක 32 (Block 2)
බණ්ඩාරනායක  අනුස්මරණ  සම්මන්ත්‍රණ  ශාලාව,
කොළඹ 07.

2020.11.15

නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීම.

පසුගිය කාලසීමාව තුළ අවස්ථා කීපයකදීම කරළියට පැමිණි නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් පිලිබඳ සංවාදය ⁣විවිධ  හේතු සාධක නිසාවෙන් යථාර්ථයක්  බවට පත්කර ගැනීමට නොහැකි විය. වසර  42 කාලසීමාව තුළ 20 වතාවක් සංශෝධනයට  ලක්වූ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක්  වෙනුවට ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන්  නියෝජනය වන  දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි අපද විශ්වාස කරමු. වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මේ වන විට නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක්  සඳහා මහජන අදහස් ලබාගැනීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත්කර ඇති අතර  ඒ පිලිබඳව පැෆ්රල් සංවිධානයේ සතුට සහ ප්‍රසාදය පලකරමු.  නමුත් එකී කර්තව්‍යයේදී මතු දැක්වෙන කරුණු පිලිබඳව විද්වත් කමිටුවේ විශේෂ අවධානය යොමුවිය යුතු යැයි අප  යෝජනා  කරමු.

01. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සකස් කිරීමේදී පක්ෂ  දේශපාලන අභිලාෂයන්  හෝ  එක් නිශ්චිත මොහොතක පවතින දේශපාලන ගැටලු පිලිබඳව  නොසලකා දීර්ඝ  කාලීන දැක්මකින් යුතු ජනතා අභිලාෂයන්  ප්‍රමුඛවන ව්‍යවස්ථාවක්  සකස් කිරීම පිළිබඳව අවධානය යොමුවිය  යුතුය.

02. ශ්‍රී ලංකාව යනු සන්නද්ධ  තරුණ නැගිටීම්  දෙකක් මෙන්ම තිස් වසරක් දික්ගැසුන ජනවාර්ගික  යුද්ධයක් හේතුවෙන් වටිනා ජීවිත දහස් ගණනක් රටට අහිමිවීම  ⁣නිසාවෙන් සමාජ දේහය තුළ සුව නොවුන  තුවාල පිළිබඳව අමිහිරි මතකයන් සහිත සමාජයකි. කුමන හේතුවක් නිසා හෝ අනාගතයේදී  එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ව්‍යවස්ථා  සම්පාදන ක්‍රියාවලිය සියලු ජන කණ්ඩායම්  වල අයිතිවාසිකම්  ආරක්ෂා  වන පරිදි සිදුකිරීම අනිවාර්යයෙන්ම  සිදුකල යුතු කා⁣ර්යයකි.

03. එමෙන්ම වරින්  වර ව්‍යවස්ථා  සම්පාදනයකට ඉඩ නොතබා විකල්ප මතවාදයන්ටද ප්‍රමාණවත්  ඉඩක් ලබාදෙමින්  සියලු දෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් විද්වත්  කමිටුවේ ප්‍රමුඛ  අවධානය යොමු විය යුතුය.

04. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  සකස් කිරීමේදී  සෑම කණ්ඩායමකම අදහස් හා අභිලාෂයන් නියෝජනය විය යුතු බවත් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවකට සුජාතභාවයක් ලැබෙනුයේ එවැනි පුලුල් ජනතා සහභාගිත්වයකින් බවත් සිහිපත් කරමි.

05. පවතින COVID 19  වසංගත තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රමුඛ  අවධානය යොමුව ඇත්තේ  COVID 19 හා සබැඳි තත්ත්වයන්ට වන හෙයින් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  පිළිබඳව අදහස් ලබාදීමට පෙලඹවීම වෙනුවෙන් පුලුල් ප්‍රචාරක වැඩපිලිවෙලක්  සකස්කල යුතු යැයි අප යෝජනා කරමු.

06. මහජන අදහස් ලබාදිය හැකි අවසන් දිනය ලෙස 2020.11.30 ලෙස දැනටමත් ප්‍රකාශකොට ඇත. පවතින වසංගත තත්ත්වය තුළ එකී කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා සාධාරණ  මෙන්ම ප්‍රමාණවත් කාලසීමාවක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිය යුතුය. එමෙන්ම ජනතාවට තම අදහස ඉදිරිපත් කිරීම පහසුවීම පිණිස  දිස්ත්‍රික් මට්ටමින් යාන්ත්‍රණයක්  සකස් කිරීම පිළිබඳව  අවධානය යොමුවිය යුතුය (ලෝකයේ වඩා දියුණු ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සහිත රටවල් ලෙස සැලකෙන ඉන්දියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල් වසර කීපයක් මේ සඳහා ගතකර පුලුල් මහජන සහභගිත්වයක් ලබාගත් බවද සිහිපත් කරමි).

07. දැනට ප්‍රකාශයට පත්කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ A4 ප්‍රමාණයේ කොලවල යතුරු ලියනය කර එවන ලෙසය. එය  නාගරිකව ජීවත් වන අයට ගැටලුවක් නොවුනද ග්‍රාමීය මට්ටමේ අදහස් ලබාදෙන්නන්  අධෛර්යයට  පත්කරවන බව අපගේ නිරීක්ෂණයයි. ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  පිළිබඳ තොරතුරු  ලබාදීමට  කැමැත්තක් තිබුනද යතුරු ලියනය කර එවීමේ ක්‍රියාවලිය යම්යම් පුද්ගල කණ්ඩායම්වලට සංකීර්ණ  කටයුත්තක් බැවින් කැමති පහසු ආකාරයෙන් තොරතුරු එවීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුබව අප යෝජනා කරමු.  විශේෂයෙන්ම කමිටුව  අමතා යම් පැහැදිලි කරගැනීමක්  අවැසි පුද්ගලයෙකුට සහයවීම සඳහා දුරකතන අංක කීපයක් හඳුන්වාදීම  වඩා ඵලදායකය. එමෙන්ම නව සාමාන්‍ය තත්ත්වය තුළ තාක්ෂණික  මෙවලම් භාවිත කරන අති බහුතරයක් දෙනාගේ පහසුව පිණිස සහ වඩා සජීව අදහස් දැක්වීමක් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය  භාවිත කිරීමේ හැකියාව පිළිබඳවද කමිටුවේ ප්‍රමුඛ  අවධානයක් යොමුවිය  යුතුය.

08. පසුගිය කාලසීමාව තුළ රටට උචිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පුලුල් මහජන සහභාගිත්වයක් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජනයන්ද සහිතව  ගන්නා ලද උත්සාහයන් කීපයක අත්දැකීම් අප සතුව ඇත. විශේෂයෙන්ම  2000 වර්ෂයේ චන්ද්‍රිකා  බණ්ඩාරනායක  මැතිණියගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ව්‍යවස්ථා කෙටුම්පත මෙන්ම 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සකස් කරන ලද සර්ව පාක්ෂික මෙහෙයුම් කමිටු වාර්තාවද අප සතුව ඇත. ආසන්නම අත්දැකීම වන පුලුල් ලෙස මහජන අදහස් ලබාගෙන පසුගිය යහපාලන රජය මගින් 2017 වර්ෂයේදී සකස් කල ලාල් විජේනායක කමිටු වාර්තාවද අප සතුව ඇත.

ඒ නිසාම රටට උචිත නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් බලවත් වෙහෙසකර අභ්‍යාසයක ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද කෙටුම්පත් 3 ක් අප සතුව ඇත. සිදුකල යුත්තේ අදාල කෙටුම්පත්  වල ඇති සාධනීය යෝජනාද සැලකිල්ලට ගනිමින්  පුලුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය  වන සුජාතභාවයෙන් යුතු ව්‍යවස්ථාවක්  සැකසීමය. ඒ සඳහා අන් කවරෙකුටත් වඩා සියලු ජන⁣ කොටස්වල විශ්වාසය සහ ආශිර්වාදය  දිනා ගැනීමේ හැකියාව වත්මන් රජය සතුව පවතී. එමෙන්ම අප රටේ සිටින  ව්‍යවස්ථා  සම්පාදන ක්‍රියාවලියේ ලෝක පරිමාණයේ අත්දැකීම් සහිත විද්වතුන්ගේ සහායද මෙම කටයුත්තට ලබාගත හැකිනම් මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වයට එය මහත් පිටිවහලක් වනු නියතය.

රටට උචිත නව ව්‍යවස්ථාවක්  වෙනුවෙන්  මෙයට පෙර ගන්නා ලද උත්සාහයන් අවාසනාවන්ත  අයුරින් ව්‍යර්ථ වුවද  මේ මොහොතේ හෝ  අතීත අත්දැකීම් වලින්  පාඩම් උගෙන ගනිමින්  වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන්  නියෝජනය වන ව්‍යවස්ථාවක සිහිනය යථාර්තයක් කිරීමට පියවර ගැනීම අප සියලුදෙනාගේම ප්‍රමුඛ වගකීම බව අවධාරණය  කරන අතර පැෆ්රල් සංවිධානය ලෙස ජනතාවාදී ව්‍යවස්ථාවක්  වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද දන්වා සිටීමට කැමැත්තෙමි.


රෝහණ හෙට්ට්ආරච්චි ,
විධායක  අධ්‍යක්ෂ

පිටපත : ගරු අධිකරණ  අමාත්‍යතුමා.

 

Related News

Image

Become a Member

Raised by campaign contributions

Please insert your API key for mailchimp.

Quick links

Image
Riding towards global success with a 100% teammate enthusiasm

Address

No.16, Byrde Place,Off Pamankada Rd, Colombo 00600

Terms & Conditions

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com